www.sinhala bible studies.com

සිංහළ බයිබල් පාඩම්

පටු දොරටුවෙන් ඇතුල් වෙයල්ලා, මක්නිසාද විනාශයට යන දොර විශාලය. ජීවනයට යන දොරටුව පටුය, එක සම්භවන්නේ ස්වල්ප දෙනෙකුටය.

කුඩා කණ්ඩායම් සඳහා බයිබල් පාඩම්

මා ගැනත් සිහි කළ මැනව.

"එවිට ඔහු යේසුස් වහන්සේ දෙසට හැරී මෙසේ පැවසීය;
යේසුස් වහන්ස, ඔබගේ රාජ්‍යයෙන් යුක්තව ඔබ නැවත එනකළ මා සිහිකළ මැනව."
-ලුක් 23:42

මතෙව් සහ මාර්ක් යන ශුභාරංචි පොත්වල යේසුස් වහන්සේ සමග කුරුසිපත් වූ අනෙක් පුද්ගලයන් දෙදෙනා ගැන කෙටියෙන් සඳහන් කිරීමක් කර තිබුණත්, ලුක් විසින් සම්පාදනය කරන ළද ලුක්ගේ ශුභාරන්චි පොතේ ඔවුන් පිළිබඳවද විස්තරාත්මක වාර්තාවක් සපයා තිබෙනු පෙණෙයි. මේ පාඩමට අදාලවන බයිබල් පද ලුක්ගේ ශුභාරංචි පොතේ මෙසේ සඳහන් වෙයි;

"උන්වහන්සේ සමග දෙපස ඇණ ගසනු ලැබූ වරද කරුවන් දෙදෙනාගෙන් එක්කෙනෙක් යේසුස් වහන්සේ දෙසට හැරී අපහාස කරමින්; නුඹ ක්‍රිස්තුස් නොවේද? එසේනම් නුඹත් ගැලවී අපවත් ගලවන්නට බැරිදැයි? ඇසිය.

එවිට අනෙක් පස සිටි වරද කරු එසේ පැවසු ඒ වරදකරුට තරවටු ස්වාභාවෙන් කියමින්; මේ දඬුවමට පැමිණ සිටින නුඹ දෙවියන්වහන්සේට වත් භය නැද්ද? අප දඬුවම් ලබන්නේ සාදාරන ලෙසය. මක්නිසාද අප අපේ ක්‍රියාවලට සුදුසු විපාක ලබමුව. නුමුත් මුන්වහන්සේ කිසි වරදක් නොකළසේක කියා උත්තර දුනේය.

තවද ඔහු; යේසුස් වහන්ස, ඔබගේ රාජ්‍යයෙන් යුක්තව ඔබ නැවත එන කළ, මා සිහි කළ මැනව යැයි කීවේය".
-ලුක් 23:39-42

එකල කුරුසියට තබා ඇණ ගැසීම රෝම නීතියට අනුව අපරාධකාරයන්ට දෙනු ලැබූ මරණ දණ්ඩණය වූ අතර, කුරුසියේ අපරාධකාරයන් සේ මිය යන්නවුන් භූමදානය කිරීමට අවසර නොවීම රෝම නීතියද වෙයි. එබැවින් දිනපතා ගිණිගන්නා කුණු ගොඩවල සිරුරුද පිලිස්සී කුණු සමගම වැළලී යෑම සිරකරුවන්ට සිදුවෙන සාමාන්‍ය ක්‍රමයයි.

ඒ ගැනත් හොඳ අවබෝධයකින් සිටි මේ සිරකරුවන් දෙදෙනා දැන් තමුන් මුහුණ දෙමින් සිටින්නේ තමුන්ගේ අවසාන මොහොත වන බැවින් ඔවුන් දෙදෙනාගේ අවධානය ඒ අවසානය වෙත යොමුව තිබෙන බව ඔවුන්ගේ කතාවෙන් පැහැදිලි වෙයි.

එහිදී එක් සිරකරුවෙක් අමාරුවෙන් හෝ යේසුස් වහන්සේ දෙසට හැරී නුඹ "ක්‍රිස්තුස්" නොවේද? එසේ නම් ඇයි අපට පිහිට නොවන්නේ? යන චෝදනාව ඉදිරපත් කරනු පෙනෙයි.

චෝදනාත්මකව වුවත් ඔහුගේ ප්‍රකාශයේ අරමුණ මුහුණදෙන වේදනාත්මක මරණින් බේරීමට පිහිට ඉල්ලා සිටීම බවත් පැහැදිලිව පෙනෙයි. නුඹ ක්‍රිස්තුස් නොවේද? එසේනම් නුඹත් ගැලවී අපවත් ගලවන්නට බැරි ඇයි? යන චෝදනාව එතුල වෙයි.

එදා පමණක් නොව නුමුත් මේ අදටත් එවැනි චෝදනාත්මක ඉල්ලීම්, ප්‍රශ්ණ කිරීම්, මෙන්ම අභියෝග කිරීම් පවා යේසුස් වහන්සේ ගැන කතා කිරීමේදී විවිධ පුද්ගලයන් තුළින් එළිදකියි.

යේසුස්වහන්සේ "සත්‍යය නම්" ඇයි අපට පිහිට වෙන්නේ නැත්තේ?
දෙවියන් වහන්සේ "ජීවමාන නම්" ඇයි මෙහෙම සිද්ධ වෙන්න ඉඩහරින්නේ?
යනුවෙන් යේසුස් වහන්සේ තුලින් ජිවිතයට ජය අත්කර ගත හැකි බව සාක්ෂියක් ලෙසින් පැවසීමට උත්සාහ කරන අවස්ථාවලදී පවා මිනිසුන් මෙසේ ප්‍රශ්න කරනු පෙනෙයි.

දෙවියන්වහන්සේ වෙතට ඇගිල්ල දික්කර පෙන්වීමක් ලෙසින් පෙනෙන ඒ ක්‍රියාවේදී, සමහරුන් තමාගේ පුද්ගලික අවශ්‍යයතාවය වෙනුවෙන් දෙවියන්ට චෝදනා කරනු දැකීමට හැකිවන අතරම, තවත් සමහරුන් මුළු ලෝකයා වෙනුවෙනුත් එසේම ඒ ලෝකයේ සිදුවන දේවල් වෙනුවෙනුත් දෙවියන්ට චෝදනා කරනු පෙනෙයි.

ඇයි දෙවියන්වහන්සේට මේ අසාදාරන මිලේච යුද්ධය නතර කරන්නට බැරි?
බඩගින්නේ දුක්විදින මේ කුඩා ළදරුවන් දෙවියන්වහන්සේට පෙනෙන්නේ නැත්තේ ඇයි?
මගේ මේ රෝගයට සුවය ; මගේ මේ පවුල් ප්‍රශ්නයට විසඳුම ; මම මුහුණ දෙන මේ අසාදාරණයට සාදාරනය ; මගේ දියුණුවට අවශ්‍යය මාර්ගය; ආදී වශයෙන් ඉදිරිපත් කෙරෙන තවත් මෙවැනි ඉල්ලීම්ද සැමවිටම පැමිණෙන්නේ, ඔබ දෙවියන් බැවින් ඇයි? හෝ ඔබ දෙවියන් නම් ඇයි? අපට නොලැබෙන්නේ යන චෝදනාවත් සමගයි.

මේ සියල්ලේදී "ඇයි?" යන ප්‍රශ්ණය මෙන්ම "නම්" යන චෝදනාවත් මුල් කරගෙන දෙවියන්වහන්සේට චෝදනා කිරීම යන ඒ ක්‍රියාව අද දවසේ අපට සාමාන්‍යය දෙයක් වී තිබුණත්, ඒ පිටුපසින් සැඟවී එන සැබෑ යථාර්තය පෙන්වාදෙන්නේ, මෙවැනි ඉල්ලීම් කරන අපගේ පුද්ගලික ආත්මික ජීවිතයේ නියම ස්වභාවයත් ඒ හා සමානව වී බවයි.

අද දවසේ බොහෝදෙනෙක් දෙවියන්වහන්සේ ගැන උනන්දුවක් දැක්වීමට කැමති වෙන්නේ පළමුවෙන්ම දෙවියන්වහන්සේ තමාට හෝ තමාගේ උවමනාවට පිළිතුරු දෙන්නේ නම් පමණි. අප මුහුණ දෙන වාතාවාරණයට හෝ අපේ අවශ්‍යතාවයට "පිහිටක් ලැබෙනවා නම් පමණක්" දෙවියන්වහන්සේ ගැනත් සැලකිලිමත් වීමට පොරොන්දුවන විට එයින් පැවසෙන්නේ, අප අප ගැන පමණක් උනන්දුවන මිනිසුන් වන වගයි.

දෙවියන්වහන්සේට අපි අවස්ථාවක් දුන්නා, නුමුත් එකෙන් කිසිම ඵලයක් නැහැ? දේවස්ථානයට ආවා නුමුත් එකෙන් කිසිම පිහිටක් ලැබුනේ නැහැ? යාඥා කළා නුමුත් කෝ ඒවාට පිළිතුරු තාම නැහැනේ? ඒ හේතුව නිසා දැන් අපිත් දෙවියන් ගණන් නොගෙන සිටීමට තීරණය කළා. යන හේතු දැක්ම අපගේ සිතේ අරමුණත් එළිදරව් කරයි.

මිනිසුන් හැටියට අප එකිනෙකා කරණ කියන දේවල්වලට සාපේක්ෂව දෙවියන්වහන්සේ ක්‍රියා නොකරන්නේ ඇයිද යන හේතුව මම අවංකවම නොදනිමි.

නුමුත් දෙවියන්වහන්සේ සැමවිටම අපගේ සිතේ අරමුණ ගැන සැලකිලිමත් වෙමින් පසුවන බව යේසුස් වහන්සේ පවා ඉතාමත් සරළව මෙන්ම පැහැදිළිව බයිබලයේ උගන්වා ඇති බැවින්, ඒ ගැන අවබෝධයක් ඇත්තෙමි. දෙවියන්වහන්සේ මිනිසුන් වන අපගේ යටි සිතේ අරමුණු සහ අපගේ අභිප්‍රායන් විමසා සොයා බලන බව දේව වචනය කියවා තේරුම් ගෙන සිටිමි.

එබැවින් ඇදහිලිවන්තයන් වන අපි අපිට ඇති ආත්මික ප්‍රශ්නවලට පිළිතුරු සොයා ගැනීමට දේව වචනය වෙතට යොමුවන්නේ නම්, එවිට ඒවාට පිළිතුරුද දේව වචනය තුලින්ම සොයා ගැනීමට හැකි බවත් තේරුම් ගෙන සිටිමි.

සමහරවිට ඔබත් ප්‍රශ්ණවලට හිරවී ඒවාට අවශ්‍යය පිළිතුර සොයමින් සිටින අයෙක් නම් හෝ ඔබ කරන යාඥාවට පැහැදිලි පිළිතුරක් දෙවියන් ගෙන් සොයමින් සිටින අයෙකු හෝ වන්නේ නම්, මේ පාඩම ඔබට ඒ වෙනුවෙන් උපකාර වේ යැයි සිතමි.

නමක් සඳහන් නොවූ පළමු වරදකරුවාගේ ක්‍රියාව

ලුක්ගේ පොතේ ලියා ඇති මේ පළමු වරදකරුවාගේ අවසාන මොහොත දෙස කල්පනාකාරීව බලන විට පෙනෙන්නේ; තම වැරදි කාරකම ගැන හෝ තමා කළ අපරාධ ගැන හෝ අවංක කලකිරීමක් හෝ පසුතැවිලිවිමක් හෝ නොතිබුණ බවයි. ඒ බව ඔහුගේම කථාවෙන් මනාව ඔප්පු වෙයි.

ඊට අමතරව ඔහුගේ කථා විලාශය පෙන්නුම් කරන්නේ ඔහු කිසි ගුණ ගරුක පුද්ගලයෙක් හෝ ඔහු තුළ කිසි යටහත් පහත් කමක් හෝ නොමැති අයෙකු බවයි. ඒ වෙනුවට ඔහු කෝපයෙන් පිරුණ, ආර්ත්මාර්ත කාමීවූ මුරණ්ඩු ගතිගුණ ඇති පුද්ගලයෙකු බවයි. ඔහුගේ ඉල්ලීමද ඒ බව පෙන්නාදෙයි.

"නුඹ ක්‍රිස්තුස් බැවින් නුඹත් ගැලවී අපවත් ගලවන්නට බැරි ඇයි?" එසේ පැවසීමෙන් ඔහු අදහස් කරන්නේ, ඔහුගේ ඉල්ලීමට පිළිතුරු සපයා දීමට නොහැකි නම්, උන්වහන්සේ ක්‍රිස්තුස් නොවෙයි යනුවෙන්ද අභියෝග කිරීමයි. එබැවින් ඔහුගේ ඉල්ලීම ඉල්ලීමකටත් වඩා ඔප්පුකර පෙන්වන්න යනුවෙන් ඉදිරිපත් කෙරෙන අභියෝගයක් ලෙසින් ඉදිරිපත් වෙයි.

ඒ ඉල්ලීම උන්වහන්සේ ගෙන් බැගෑපත්ව ඉල්ලා සිටීමක් ලෙසින් හෝ අනුකම්පාව හෝ කරුණාව සොයමින් කරන ඉල්ලීමක් හෝ නොවන බවත් පැහැදිලිවම පෙනෙයි.

යේසුස් වහන්සේගේ දෙපැත්තේ ඇන ගසනු ලැබූ මේ සිරකරුවන් දෙදනා ගැන දීර්ඝ හඳුන්වා දීමක් බයිබලයේ සඳහන්වී නොමැති බැවින්, ඔවුන් ගැන දැනගැනීමට අපට ඇත්තේද ඔවුන් විසින් කල ඒ සංවාදයන් පමණි. එබැවින් ඒ දෙස විමසිල්ලෙන් බලන්නේ නම් ඔවුන්ගේ ඒ අප්‍රසිද්ධ ජීවිතවල පසුබිම ගැන යමක් සොයා දැනගැනීමටත් හැකිවෙයි.

යේසුස් වහන්සේ ගැන මොවුන් දෙදෙනාටම පැහැදිලි අවබෝධයක් තිබුන බව දැකිය හැක්කේ, ඔවුන් දෙදෙනාම උන්වහන්සේව "ක්‍රිස්තුස්" යන ඒ විශේෂ නාමයෙන් අමතනු දැකීමයි. එයින් පැහැදිලි වන්නේ ඔවුන් සිරගෙදර සිරවී සිටියත් යේසුස් වහන්සේගේ ජීවිතය මෙන්ම උන්වහන්සේ කල හාස්කම් ගැන අසා දැනගෙන ඒවා තුලින් උන්වහන්සේ පැමිණෙන්නට සිටින "ක්‍රිස්තුස්" බවත් අවබෝධයෙන් තේරුම් කරගෙන සිටිය මිනිසුන් වූ වගයි.

සිරගෙදරදී කෙසේ හෝ පැමිණෙන්නට සිටින "ක්‍රිස්තුස්" උන්වහන්සේ බව අසා දැනගත් මේ මිනිසා, ඒ ක්‍රිස්තු වහන්සේව ජිවිතයේ පළමු වරට දකින අවස්ථාවේදී පවසන්නේ; ක්‍රිස්තුස් සතු ඒ බලය පාවිච්චිකර ඔහුගේ කැමැත්ත ඉටුකර දෙන්න කියා ඉල්ලා සිටිනවාටත් වඩා ඒ බලය තමා මුහුණ දෙන ප්‍රශ්නයෙන් ගැලවීමට පාවිච්චි නොකරන්නේ ඇයි යන අභියෝගයයි.

මේ උත්සාහය එදා පමණක් නොව නුමුත් මේ අදටත් විවිධාකාරයෙන් අප අතරත් ක්‍රියාවට නැගෙන නිසා ඒ ගැන හරි වැරැද්ද සොයනවාට වඩා, ඇදහිලිවන්තයන් හැටියට අප මෙහිදී කල යුත්තේ මේ කතාව තුලින් අපගේ ආත්මික පැත්ත හරිගස්සා ගැනීමට උනන්දු වීමයි.

නමක් සඳහන් නොවූ දෙවැනි වරදකරුවාගේ ක්‍රියාව

පළමු වරදකාරයාගේ කතාවෙන් පසුව අමාරුවෙන් හෝ සිහිඑලවා ගත් කුරුසියේ එල්ලී සිටි අනෙක් වරදකරුවාද ක්‍රිස්තුස් වහන්සේව ඇමතු බවත් ලුක්ගේ ශුභාරංචි පොත වාර්තා සපයයි.

"එවිට අනෙක් පස සිටි වරද කරු එසේ පැවසු ඒ වරදකරුට තරවටු ස්වාභාවෙන් කියමින්;
මේ දඬුවමට පැමිණ සිටින නුඹ දෙවියන්වහන්සේට වත් භය නැද්ද? අප දඬුවම් ලබන්නේ සාදාරන ලෙසය. මක්නිසාද අප අපේ ක්‍රියාවලට සුදුසු විපාක ලබමුව.
නුමුත් මුන්වහන්සේ කිසි වරදක් නොකළසේක කියා උත්තර දුනේය.
තවද ඔහු; යේසුස් වහන්ස, ඔබගේ රාජ්‍යයෙන් යුක්තව ඔබ නැවත එන කළ, මා සිහි කළ මැනව යැයි කීවේය."

වාර්තා වලට අනුව දෙවැනි වරදකාරයාගේ කතාවේ අරමුණ පළමුවෙන් කථා කළ වරදකාරයාගේ කථාවේ අරමුණට අනුව වෙනස් එකක් සේ පැහැදිළිවම පෙනෙයි. හේතුව ඔහු මෙහිදී "ක්‍රිස්තුස්" නමැති ඒ යේසුස් අමතනවා වෙණුවට කරන්නේ, යේසුස් වහන්සේට මුලින් කථා කළ ඔහුගේ සගයා වූ ඒ පළමු වරදකරුවාගේ කථාවට පිළිතුරු දීම දැකීමයි.

එසේ කිරීමට මුල්වූ කාරණය ලෙසින් පසුබිම පෙන්වාදෙන්නේ, ඔහු මුලින් ඇමතු ඒ පළමු වරදකරුවාගේ කතාවට එකඟ නොවූ හේතුවයි.

නොපෙනෙන වෙනස

මොවුන් දෙදෙනාම සාමානයෙන් අපරාධකාරයන් යන කොට්ඨාසයට අයත් වුවත්, අදහස් වලින් ඔවුන් විවිධ පුදගලයන් බව ඔවුන්ගේ ක්‍රියාවන් පෙන්නුම් කරයි. ඒ අනුව බාහිරව ඔවුන් අපරාධකාරයන් සේ පෙනුනත් ඇතුලාන්තයෙන් මොවුන් එකිනෙකාට වෙනස්වූ පුද්ගලයන් බව පෙනෙයි.

පළමු වැන්නා දෙවියන්ටවත් ගරු නොකරයි. නුමුත් දෙවැන්නා දෙවියන්ට බය භයක්තිය ඇති මිනිසෙකු සේ ක්‍රියා කරයි.

පළමුවැන්නා තමා මුහුණ දෙන දඬුවම තමා කළ වැරදිවලට සාධාරණ එකක් සේ පිලිනොගනියි. නුමුත් දෙවැන්නා තම අපරාධ ගැන වගකීම තමා විසින් අවංකවම පිළිගෙන ක්‍රියා කරන බව පෙනෙයි.

පළමුවැන්නා ඔහු විසින් කල වැරදි ගැන කණගාටු වීමක් හෝ ඒ ගැන පසුතැවිලි විමක් හෝ නොපෙන්වයි. නුමුත් දෙවැන්නා තමා කළ අපරාධ ගැන පසුතැවිලි වන බව පැහැදිලිව පෙනෙයි.

පළමු වැන්නා තම ජීවිතය ගැන පමණක් සැලකිලිමත් වෙයි. නුමුත් දෙවැන්නා දෙවියන් ගැන ගෞරවයෙන් සළකයි.

පළමු වැන්නාගේ එකම අරමුණ මරණින් ගැලවීමට මාර්ගයක් සොයාගැනීමේ අරමුණ වුවත් දෙවැන්නාගේ අරමුණ මේ ආත්මයේදී සිදුවූ වැරැද්ද මතු ආත්මයේදී සිදුනොකර සිටීමට දෙවියන්ගේ පිහිට සෙවීම බවත් පෙනෙයි.

යාඥාවට පිළිතුර

ඇදහිලිවන්තයන් විසින් දෙවියන් ඉදිරියේ කරනු ලබන ඉල්ලීම් "යාඥාව" ලෙසින්ද අප හඳුන්වයි. ඒ අනුව මොවුන් දෙදෙනාම විසින් යේසුස්වහන්සේට කල ඉල්ලීම සැබවින්ම යාඥාවකි.

පළමු මිනිසාද එදා යේසුස් වහන්සේගේ කන් වලටම ඔහුගේ ඉල්ලීම පැවසුවත් ඔහුට ඒ වෙනුවෙන් පිළිතුරක් උන්වහන්සේ ගෙන් නොලැබුන බවත් එහි සඳහන් වෙයි. යේසුස් වහන්සේ ඔහුගේ කතාවට පිළිතුරක් නොදී නිශ්සබ්දව සිටිය බව පමණක් එහි වාර්තාවෙයි.

මරණය ඉදිරියේ යේසුස් වහන්සේට කල යාඥාවට ලැබුන පිළිතුර "නිශ්ශබ්දතාවය" පමණක් වීම දැකීම සැබවින්ම කණගාටුදායක කරුණෙකි.

දෙවියන්වහන්සේට හඬ ගසමින් උන්වහන්සේ ගෙන් සැමවිටම පිළිතුරු බලාපොරොත්තු වෙන් පසුවන අපටත් එය පාඩමක් කියාදෙයි. එබැවින් ඇදහිලිවන්තයන් වන අපගේ යාඥාවන් වලට පවා අපට ලැබෙන්නේත් "නිශ්ශබ්ධතාවය" පමණක් නම්, ඒ ගැන දෙවරක් සිතා බැලීම වටියි.

අවසානයේදී කෙටියෙන් හෝ දෙවැනි අපරාධකාරයාත් යේසුස් වහන්සේ ගෙන් ඉල්ලීමක් කළ බව බයිබලයේ සටහන් වෙයි.

"ඔහුද උන්වහන්සේ දෙස බලා; "යේසුස් වහන්ස, ඔබගේ රාජ්‍යයෙන් යුක්තව ඔබ නැවත එනකළ මා සිහිකළ මැනව." යයි පැවසිය.- ලුක් 23:42

නුමුත් උන්වහන්සේ ඔහුට පිළිතුරු දුන් බව එහි සටහන් වෙයි.

යේසුස් වහන්සේගේ දෙවැනි පැමිණීමේදී ඔහුව සිහිකරනා ලෙසින් මේ මිනිසා එදා උන්වහන්සේ ගෙන් කල ඒ ඉල්ලීම, මේ වර්තමානයේ සිටින අපට එතරම් වැදගත් එකක් සේ නොපෙනුණත්, යේසුස් වහන්සේගේ කන්වලට එය වැදගත් එකක් වූ බව පෙනෙන්නේ, එය අසා උන්වහන්සේ ඔහුට එවෙලේම පිළිතුරු දුන් හේතුව දැකීමයි.

ජිවිතයේ ඉතාමත්ම තීරණාත්මක මොහොතක සිටි මේ මිනිසුන් දෙදෙනාගේ ඉල්ලීම් ඉදිරියේදී, එක අයෙකුට පිළිතුරු ලැබීමත් අනෙකාගේ ඉල්ලීම ඉදිරියේ නිශ්සබ්ධ තාවය පමණක් දැකීමටත් ඇති හේතුව ගැනත් සිතා බැලීම මෙහිදී අපට ප්‍රයෝජනවත් වන්නේ, දෙවියන් ඉදිරියේ ඉල්ලීම් ඉදිරිපත් කිරීම සහ ඒවාට පිළිතුරු දෙවියන් ගෙන් ලබාගැනීම යන මේ වැදගත් විෂය ගැන පැහැදිළි අවබෝධයක් ලබාගන්නා පිණිසයි. එය අපගේ ආත්මික ජිවිතයට බෙහෙවින් වැදගත් වන්නේ ඇදහිලිවන්තයන් හැටියට අපත් දෙවියන්වහන්සේ සමග ගනුදෙනු කරන්නෝ වන නිසායි.

යේසුස් වහන්සේ ඒ දෙවැනි වරදකාරයාගේ ඉල්ලීමට පිළිතුරු සැපයු ආකාරය දෙස බැලීමත් වැදගත් වන්නේ, එහි ඔහු උන්වහන්සේ ගෙන් ඉල්ලා සිටිය දේව වලටත් වඩා තවත් දේවල්ද එයට එකතු කර තිබීමත් දැකීමට හැකි වීමයි.

මතු අනාගතයේදී ලබාදෙන්න යන ඒ ඉල්ලීම වෙනුවට උන්වහන්සේ ගෙන් ඔහුට ලැබෙන්නේ "අද දින" එය ඔහුට ලැබෙන පොරොන්දුවයි. ඊට අමතරව උන්වහන්සේ සමග පාරාදීසයේ සිටීමට අවස්ථාවත් ඔහු එහිදී ලබාගනියි.

"සැබෑවක් නුඹට කියමි, අද දින නුඹ මා සමග පාරාදීසයේ සිටින්නෙහිය" - ලුක් 23

එයින් අදහස් වන්නේ යේසුස් වහන්සේ ඔහුගේ ඉල්ලීමට අනුව නොව නුමුත් උන්වහන්සේගේ කැමැත්තට අනුව ඔහුට පිළිතුරු දුන් බවයි.

යේසුස් වහන්සේ ඉදිරියේ මොවුන් දෙදෙනාම වැරදිකර දඬුවම් ලබන පව්කරුවන් වුවත්, උන්වහන්සේට එය ප්‍රශ්නයක් වූ බවක් නොපෙන්නේ යේසුස් වහන්සේ දෙවැනි වරදකරුවාට පිළිතුරු දෙනු දැකීමයි.

නුමුත් දෙවැනි වරදකරුවාට පමණක් ඇයි උන්වහන්සේ පිළිතුරු දුන්නේ? යන ඒ ප්‍රශ්නයට පිළිතුර වන්නේ, ඔහුගේ ඇතුලාන්තයේ වූ සැබෑ වෙනස බව පැහැදිලිව පෙනෙයි.

එසේනම් ඇදහිලිවන්තයන් වන අපත් මෙහිදී සැලකිලිමත් විය යුත්තේ ඒ ගැනයි. අපිට අපගේ පව්කාර ස්වභාවයෙන් මිදීමට මඟක් නොවුනත් අපි සියලු දෙනාටම අපගේ ඒ පව් ගැන පසුතවිලිවී ඇතුලාන්තය වෙනස්කර ගතහැකි බව මේ කතාව පෙන්වයි.

යේසුස් වහන්සේ එවැනි මිනිසුන්ගේ කන්නලව්වට ඇහුන්කන් දෙන බවත් එය කියා සිටියි.

"තවද ඔහු; යේසුස් වහන්ස, ඔබගේ රාජ්‍යයෙන් යුක්තව ඔබ නැවත එන කළ, මා සිහි කළ මැනව යැයි කීවේය".
යේසුස් වහන්සේද, සැබෑවක් නුඹට කියමි, අද දින නුඹ මා සමග පාරාදීසයේ සිටින්නෙහිය. යැයි කිවේය."
-ලුක් 23:42

(දර්මදාස ශුභාරංචි සේවය වෙතින් උපුටා ගන්නා ලදි. /©2016- darmadasa.org)